Accessibility Tools

Information Icon

සෑම ඉඩමකටම අනන්‍ය වූ හැදුනුම් අංකයක් ලැබෙන, ඉඩමේ නිරවුල් හිමිකම තහවුරු කරමින් පූර්ණ රාජ්‍ය වගකීම සහිතව හිමිකම් සහතිකයක් නිකුත් කරනු ලබන ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහනකි.

ඉඩම් උපයෝජනය සඳහා දිගු කාලීන බාධාවක් වී ඇත්තේ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳව පවතින ගැටළු වන අතර ලියාපදිංචි කිරීම් සඳහා අයන්ත්‍රික ප්‍රවේශය හා අදාළ දුෂ්කරතා ද මෙම කාර්යයේදී අවහිරයක්ව පවතී. හිමිකම් ලියාපදිංචිය ශ්‍රි ලංකාවට හඳුන්වා දී ඇත්තේ ඉඩම් උපයෝජනය සහ සංවර්ධනය ඉහළ නැංවීමේ සහ ඉඩම් අයිතිය හෝ මායිම් සම්බන්ධ අනවශ්‍ය ආරවුල් වළක්වාලීමේ අරමුණින් ශක්තිමත් හා පැහැදිළි ඉඩම් හිමිකාරිත්වයක් ඇති කිරීමයි. පරිගණක පාදක ඉඩම් තොරතුරු පද්ධතිය මගින් වඩා යහපත් ඉඩම් කළමනාකරණය සහ රජය සහතික කරනු ලැබූ හිමිකම් සහතික නිකුත් කිරීම සඳහා අවස්ථාව උදා කරයි. ඒ අනුව පහසු, කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකි වේ. ඒ අනුව 1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත ඉඩම් කොටසක හිමිකම් විමර්ශනය කිරීම සහ ලියාපදිංචි කිරීම සදහාද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුශාංගික කාරණා සදහා ද විධිවිධාන සැලසීම පිණිස ස්ථාපිත කර ඇත. මෙමගින් ශ්‍රී ලංකාවේ සෑම බිම් ඒකකයක් සදහාම අනන්‍ය වු අංකයක් සහිත රජය විසින් හිමිකම් තහවුරු කරන ලද අවසානාත්මක ඉඩම් හිමිකමක් ලැබේ. මෙහිදී ඉඩමේ අයිතිය තුලින් ජනතාව ආර්ථික හා මානසික වශයෙන් සවිබල ගැන්වීමක් ඉඩම් සංවර්ධනය සදහා වැඩි අවස්ථාවක් ලබා දීමත් සිදු වන අතර, මෙය ව්‍යාප්ත වීමත් සමග සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් තොරතුරු පද්ධතියක් නිර්මාණය වේ. මෙයින් විද්‍යාත්මක කළමණාකරණයට අවකාශ විවර වේ.