කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම
උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් කල්ගත වූ උපතක් ලෙස ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇත. (8/2008 චක්‍ර්‍රලේඛය බලන්න)
ඒ සඳහා උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 24 වන වගන්තිය යටතේ වන ප්‍රකාශ පත්‍රයක් උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය. (මාස තුනේ සිට වසරක කාලයක් සඳහා ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පත්‍රයට, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්රාර්වරයාට අනුමැතිය ලබා දිය හැකිය.)
ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,
- දෙමව්පියන්ගෙන් කෙනෙකු
- දරුවාගේ භාරකරු
- උනන්දුවක් දක්වන ඕනෑම අයකු
ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 60.00 කි.
උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කල පිටපතක්
- විෂයගේ (උපතට අදාල තැනැත්තා) උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
- රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
- ග්‍රාම නිළධාරී වාර්තාව හෝ සහතික පිටපත (B23)
- වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
- පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
- සෞඛ්‍ය වර්ධන සටහන
- බෞතීස්ම සහතිකය,
- පාසැලට ඇතුලත් කිරීමේ ලේඛනයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශකය
- වතු සුභසාධක නිලධාරිගේ වාර්තාව
- උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්
උපත සිදු වී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
- උපත ලියාපදිංචි වී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කල පිටපතක්
- විෂයගේ(උපතට අදාල තැනැත්තා) පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
- රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
- ග්‍රාම නිළධාරී වාර්තාව හෝ සහතික පිටපත (B23)
- වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
- පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
- සෞඛ්‍ය වර්ධන සටහන
- බෞතීස්ම සහතිකය,
- පාසැලට ඇතුලත් කිරීමේ ලේඛනයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශකය
- වතු සුභසාධක නිලධාරිගේ වාර්තාව
- උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්.
අනුමාන වයස් සහතික නිකුත් කිරීම
උප්පැන්න සහතිකයක් ලියාපදිංචි කිරීම සඳහා නිසි තොරතුරු (රෝහල් උපත් වාර්තාව/ ග්‍රාම නිලධාරි වාර්තාව වැනි උපත සනාථ කල හැකි ලියවිලි) සැපයිය නොහැකි ඔිනෑම පුද්ගලයෙකුට අනුමාන වයස් සහතිකයක් ලබා ගැනීම සඳහා උපන් ස්ථානයට අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ඉල්ලුම් කල හැකිය.
අවශ්‍ය ලේඛන
- ප්‍රකාශ පත්‍රය
- ලේඛන සෙවීමේ ප්‍රතිඵලය
- දිවුරුම් ප්‍රකාශ හා වාර්තා
- ග්‍රාම නිලධාරි වාර්තා
- උපත සනාථ කල හැකි බවට වන තොරතුරු
- උපන් දිනය සනාථ කල හැකි ලියවිලි ඉදිරිපත් කිරීම මගින් අනුමාන වයස් සහතිකයෙහි උපන් දිනය සටහන් කරගත හැකිය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම්, ළඟම පිහිටි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මහතා/මහත්මිය හමුවන්න.
උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම
උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක,
- 01 තීරයෙහි විස්තර - උපන් දිනය සහ උපන් ස්ථානය
- 02 තීරයෙහි විස්තර - නමක් ඇතුලත් කර නොමැති අවස්ථාවක, නමක් ඇතුලත් කිරීමට හෝ උප්පැන්න ලේඛනයක ඇතුලත්ව ඇති නමක් පසුව වෙනස් කිරීමට
- 03 තීරයෙහි විස්තර - ස්ත්‍රී/පුරුෂ භාවය
- 04 තීරයෙහි විස්තර - පියාගේ තොරතුරු (ජාතිය හැර) සංශෝධනය කිරීමට
- 05 තීරයෙහි විස්තර - මවගේ තොරතුරු සියල්ල
- 06 තීරයෙහි විස්තර - මව්පියන් විවාහක/අවිවාහක බව
- 07 තිීරයෙහි විස්තර - මුත්තාගේ තොරතුරු
- 09 තීරයෙහි විස්තර - දැනුම් දෙන්නාගේ තොරතුරු
සංශෝධනය කිරීම කළ හැකිය.
ඊට අදාළ ප්‍රකාශ පත්‍රය, උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
- උප්පැන්නය හිමි තැනැත්තා
- පියා හෝ මව
- නීත්‍යානූකුල භාරකරු
- උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 60.00 කි.
ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛනයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කල යුතුය.
ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් ඔබගේ පහසුව සඳහා පහත දක්වා ඇත.
- මව්පියන්ගේ විවාහ සහතිකයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කල පිටපතක්
- දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
- පියාගේ හා මවගේ උප්පැන්න සහතික වල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කල පිටපත්
- මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්න ලේඛනයක සහතික කල පිටපතක්
- විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්න ලේඛනයක සහතික කල පිටපතක්
- ආරෝග්‍යශාලා, මාතෘ නිවාසවල ඇති සටහන්වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
- ශිෂ්‍ය කාර්ය දර්ශකය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛනයේ උපුටනය
- විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
- පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකයේ සහතික කල පිටපතක්
දරුවෙකු දරුකමට හදා ගැනීම
දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 14ට වැඩි නොවිය යුතුය.
ඉල්ලුම්කරු විසින් සපුරාලිය යුතු අවශ්‍යතා,
- ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 25ට වැඩි විය යුතූය.
- දරුවා හදා ගැනීමට ඉල්ලුම් කරන්නා සහ අදාළ දරුවා අතර අවම වයස පරතරය අවම අවුරුදු 21ක් විය යුතූය.
- අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් පැවත එන්නකු නම්, ඉල්ලුම්කරුගේ සහෝදරයකුගේ/ සහෝදරියකගේ හෝ ඔවුන්ගෙන් පැවත එන දරුවකු නම් හෝ ඒ අයගේ විවාහක පාර්ශවකරුගේ දරුවකු නම් ඉහත තත්ත්වය අදාළ නොවේ.
දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 10ට වැඩි නම් දරුවාගේ කැමැත්ත අවශ්‍ය වේ.
ඉදිරිපත් කරනු ලබන සහතික හා ලේඛන මත පදනම්ව දරුකමට හදා ගැනීමේ ආඥාවක් නිකුත් කරනු ලබන්නේ දිසා අධිකරණය විසිනි.
එම ආඥාව (අංක 4 දරණ ආකෘති පත්‍රය) මත, දරුකමට ගැනීම පිලිබඳ සහතිකය (B143 ආකෘතිය) රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන අතර, එමගින් දරුකමට හදාගන්නා ළමයාගේ උපත නැවත ලියාපදිංචි කරවා ගත හැකිය.
උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා පහත සඳහන් ලියවිලි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය (B149)
- මව්පියන්ගේ විවාහ සහතිකයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කල පිටපතක්
- මවගේ සහ පියාගේ උප්පැන්න ලේඛනවල සහතික කල පිටපත්
- දරුවාට මීට පෙර උප්පැන්න සහතිකයක් ලියාපදිංචි වී තිබේ නම්, එම සහතිකය හෝ ලියාපදිංචි වී නොමැති නම් හිස් ප්‍රතිඵල ලේඛනය
උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉහත තොරතුරු සමඟ නිවැරදිව ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍රය, දරුවා උපන් ස්ථානයට අයත්වන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් යොමු කරනු ලැබේ.