ඉඩමක හිමිකම තහවුරු කිරීම සඳහා ලේඛන ලියාපදිංචි කිරීමේ ක්‍රමය වෙනුවට රජයේ වගකීමක්ද සහිත ඉඩමේ පිහිටීම, එහි සීමාවන් හා ප්‍රමාණය සඳහන් වන කඩඉම් සිතියමක් (පිඹුරක්) ඇතුළත් කරමින් සුවිශේෂී වූ අනන්‍ය අංකයක් යටතේ හිමිකම් හා හිමිකමේ ස්වභාවය දක්වමින් ඉඩමේ පරම අයිතිය ලියාපදිංචි කිරීම සඳහා 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත ( බිම් සවිය වැඩසටහනට අදාල පනත) ස්ථාපිත කරන ලදී.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධිත ආයතන
මිනින්දෝරු දෙපාර්තමේන්තුව
- හිමිකම් පානා ඉඩම සඳහා කැඩැස්තර සිතියම් සකස් කිරීම/ ඉන් පිටපත් නිකුත් කිරීම
හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
- අදාළ ඉඩම් කොටසෙහි හිමිකම නිරවුල් කිරීම
- පනතේ 55 වගන්තිය ප්‍රකාර පරීක්ෂණ සිදුකිරීම හා පසු අයිතිය තහවුරු කිරීම
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
- ඉහත කී කැඩැස්තර සිතියම පදනම් කරගෙන හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන උපලේඛන මත හිමිකම ලියාපදිංචි කිරීම.
- එම ඉඩමට අදාළ පසුගනුදෙනු ලියාපදිංචි කිරීම.
- උධෘත පිටපත් නිකුත් කිරීම
- ඉ-හිමිකම් දත්ත පද්ධතිය පවත්වා ගෙන යාම
- හිමිකම් රක්ෂණ අරමුදල පවත්වා ගෙන යාම
මෙම වැඩසටහන ක්‍රියාත්මක වන කාර්යාල
පහත ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයන්හි හිමිකම් ලියාපදිංචි කිරීම ක්‍රියාත්මක වේ.
- දෙල්කඳ
- හෝමාගම
- අවිස්සාවේල්ල
- ගම්පහ
- මීගමුව
- අත්තනගල්ල
- අනුරාධපුර
- මහනුවර
- ගම්පොළ
- රත්නපුර
- හම්බන්තොට
- තංගල්ල
- කුරුණෑගල
- කුලියාපිටිය
- මොණරාගල
- බදුල්ල
- පොළොන්නරුව
- ත්‍රිකුණාමලය
- මාතලේ
- නුවරඑළිය
- කළුතර
- පානදුර
- හොරණ
- ගාල්ල
- මාතර
- කෑගල්ල
- පුත්තලම
- මාරවිල
- කුණ්ඩසාලේ
- ඇල්පිටිය
- මහර
- නාරම්මල
- නිකවැරටිය
- ඇඹ්ලිපිටිය
- යාපනය
- වවුනියාව
- කිලිනොච්චිය
- මුලතිව්
- කොළඹ
මෙම ක්‍රමය මගින් ලැබෙන ප්රතිලාභ
රජයේ පූර්ණ වගකීම හිමිවන නිසා හිමිකම සවිමත් වේ.
- ඉඩමේ පිහිටීම පිළිබඳ නිවැරදි තොරතුරු හිමිකම් සහතික පතින් තහවුරු වේ.
- පිඹුර සම්බන්ධයෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුව වගකියන බැවින් නැවත පිඹුරු පිටපත් ලබා ගැනීම අවශ්‍ය නොවේ.
- හිමිකම් සහතික හිමි ඉඩමක් විකිණීමේ දී හෝ මිලට ගැනීමේ දී නීති උපදෙස් සෙවීම අවශ්‍ය නොවන බැවින් ගනුදෙනු වඩාත් පහසු වේ.
- හිමිකම් සහතිකයට, ඔප්පුවට වඩා ඉහළ පිළිගැනීමක් හිමි වේ.
- මෙම ක්‍රමය මඟින් ඉඩම් ආරවුල් , වංචා හා අක්‍රමිකතා අවම කරනු ලැබේ.
- මෙම ක්‍රමය යටතේ හිමිකම් සහතිකයක් නිකුත් වූ ඉඩමක් සඳහා බෙදුම් නඩු පනත යටතේ ඉඩම් නඩු පැවරිය නොහැක. (1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 63 වගන්තිය)
- එසේම කාලාවරෝධී පනත යටතේ ද කටයුතු කල නොහැක.
2025 වර්ෂය වන විට මිලිනයකට (1,000,000) කට ආසන්න හිමිකම් සහතික ප්‍රමාණයක් ඉඩම් හිමිකරුවන් වෙත බෙදා දී අවසන් කර ඇත.
හිමිකම් රක්ෂණ අරමුදල - හිමිකම් නිරවුල් කිරීමේ දී/ ලියාපදිංචි කිරීමේ දී හානි පූරණය කිරීම
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ හිමිකම් පිළිබඳ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ කළමනාකරණය මත, 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ස්ථාපනය කර ඇති හිමිකම් රක්ෂණ අරමුදලින් අධිකරණය මඟින් නියම කරනු ලබන පරිදි හානිපූර්ණය සිදු කරනු ලබයි.
හිමිකම් රක්ෂණ අරමුදලට අදාලව පහත කරුණු ඇතුලත් වේ.
- 1998 අංක 21 දරන හිමිකම් පනතේ 58 (2),59 හා 60 වගන්ති වල විධිවිධාන අනුව අධිකරණ ආඥාවක් මත පමණක් හානිපූර්ණය කරනු ලබයි.
- හානිපූර්ණය සදහා ඉල්ලුම් කිරීම - යම් ලියාපදිංචි කිරීමක් වංචාවෙන් ලබාගෙන ඇති බවට අධිකරණය සෑහීමකට පත්වන අවස්ථාවක, රෙජිස්ටරය නිවැරදි කරන ලෙසට අධිකරණය ආඥා කල හැකිය. එම ආඥාව මත රෙජිස්ටරය නිවැරදි කිරීම /නොකිරීම මත යම් තැනැත්තෙකුට පාඩුවක් හෝ අලාභයක් දැරීමට සිදු වුවහොත් එම තැනැත්නා හානීපුර්ණය සදහා ඉල්ලුම් කිරීමට හිමිකම් ලබයි.
- හානිපුර්ණය සදහා ඉල්ලුම් කරන්නේ යම් ඉඩමක හෝ යම් ඉඩමක සම්බන්ධතාවයක් සම්බන්ධ වංචනික හෝ වැරදි සහගත ලියාපදිංචියක් සම්බන්ධයෙන් වු විට එය සිදුවී වසර තුනක් ඇතුලත, හානීපුර්ණය සදහා හිමිකම්පාමින් අධිකරණයේ නඩුවක් පවරනු ලැබිය යුතුය.
- හිමිකම් පිලිබද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා එකී නඩුවට විත්තිකරු කරුණු ලැබිය යුතු අතර, වංචාව සිදුකල හෝ ඊට දායක වු තැනැත්නා /තැනැත්තන් සම විත්තිකරුවන් කරුණු ලැබිය යුතුය.
- පැමිණිල්ලට පහත දැක්වෙන කරුණු ඇතුලත් කරන්න.
- පාඩු සිදුවු බවට හිමිකම් පාන තැතැත්තා හෝ තැනැත්නාගේ නම හෝ නම්,
- පාඩුවක් සිදුවී ඇත්තේ යම් ඉඩමක ලියාපදිංචි කිරීම නිසා ද, එම ඉඩමේ හෝ එහි සම්බන්ධතාවයේ අනන්‍යතාවය,
- අලාභය සිදුකරනු ලබන බවට චෝදනා කරනු ලබන තැතැත්තා හෝ තැනැත්නාගේ නම හෝ නම්,
- සුදුසුකම් ලත් තක්සේරුකරුවෙකු විසින් තක්සේරු කරන ලද පාඩුව පිලිබද තක්සේරුව.
හානිපුර්ණය ගෙවිය යුතු බවට අධිකරණය විසින් ආඥාකරනු ලබන අවස්ථාවක, අධිකරණ ආඥාවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කර නොමැති නම් එය අධිකරණ ආඥාවේ දින සිට මාස තුනක් ඇතුලත හානීපුර්ණය කරනු ලබයි. මාස තුනකට වැඩි කාලයක් ප්‍රමාද වුවහොත් ගෙවීමට ඇති ඉතිරි මුදල මත සම්පුර්ණ මුදලම ගෙවන තෙක් නෛතික පොලිය ගෙවනු ලැබේ