ශ්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් (ආයෝජකයන්ට මෙන්ම මහජනයා වෙත කඩිනමින් තොරතුරු ලබා ගැනීම) අවශ්‍ය දත්ත පරික්ෂා කිරීමට මෙන්ම, ආයෝජකයන්ට හිතකර ලෙස ඉඩම් අයිතින් කඩිනමින් තහවුරු කර ගැනීම සදහා මෘදුකාංගයක් තුලින් මාර්ගගත ක්‍රමයට ද කටයුතු කිරීම සඳහා පහසුකම් සලසමින් ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහනකි.
දෙපාර්තමේන්තුවෙහි පසුබිම...
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මහජනයාගේ සිවිල් අයිතිවාසිකම් මෙන්ම දේපල වල නීත්‍යානුකූල භාවය රැක දෙන වසර 161 ක් පැරණි දෙපාර්තමේන්තුවකි. දේපල ලියාපදිංචි කිරීමේ දී දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් භාවිතා කල ක්‍රම වේදය වුයේ, අතින් පත්ඉරු මත ලියාපදිංචි කිරීමයි.
මෙම ක්‍රමය තව දුරටත් භාවිතා කිරීම තුළින් දේපළ වල ලියාපදිංචි කිරීමේ තොරතුරු කඩිනමින් මහජනයා වෙත හා අනෙකුත් ආයතන වෙත නිකුත් කිරීමට දෙපාර්තමේන්තුවට නොහැකි තත්වයකට පත්ව ඇත.
එමෙන්ම ඉඩම් ලේඛන ස්වාභාවික හේතුන් මගින් හා නිතර භාවිතා කිරීම තුළින් විනාශ වන තත්වයකට පත් වෙමින් පවතියි. තවද ඉඩම් ලේඛන වල දෙවන පිටපතක් නොමැති වීම හේතුවෙන් විනාශ වූ ඉඩම් ලේඛනයක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට හෝ නිකුත් කිරීමට හෝ දැනට භාවිතා කරනු ලබන ක්‍රමවේදය ප්‍රබල බාධාවක් වී ඇත.
ඉඩම් ව්‍යාපෘතියේ ආරම්භය...
දේපල ලියාපදිංචි කිරීමේදී ඉඩම් පිළිබද තොරතුරු කඩිනමින් ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම මගින් ආයෝජකයන්ට ව්‍යාපාර පහසුකරණය පිළිබද දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්වය ඉහල නංවා ගැනීමේ අරමුණින් ඉ-ඉඩම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
එමෙන්ම වසර 161ක් පමණ සපිරෙන දෙපාර්තමේන්තුව සුහුරු කරණය කිරීමටද හිමිකම් ලියාපදිංචි කිරීම පහසු කිරීම සඳහා මෘදුකාංගයක් මඟින් තොරතුරු ලබා ගැනීමට හැකියාවක් ඇති කිරීමද මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පාදක වී ඇත.
ඉ - ඉඩම් මෘදුකාංගයහි ජාතික වැදගත්කම...
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මෙතෙක් පැවති ලියාපදිංචි ක්‍රම වේදයෙන් මිදි, මහජනයා වෙත කඩිනමින් සේවයක් සැපයීමට හැකි ලෙසට ද, දේපල ලියාපදිංචි කිරීම මඟින් රාජ්‍ය ආයතන හා ශ්‍රී ලංකාවේ සියළුම අනෙකුත් ආයතන වෙත අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබා දීමට හැකියාවක් ඇති කිරීම අරමුණු කරගනිමින්, දෙපාර්තමේන්තුව වෙත, නවීන තාක්ෂණික ක්‍රමෝපායන් උපයෝගී කරගනිමින් දේපළ ලියාපදිංචි කිරීමේ පියවර, වේලාව සහ පිරිවැය අවම කර ගැනීම තුලින් ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘදිය වෙනුවෙන් ඉඩම් පරිපාලන පද්ධතියේ ගුණාත්මක බාවය රැකගැනීම මෙන්ම ඒ තුළින් ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවේ ආයෝජන තත්ත්වයන් ඉහළ මට්ටමකට රඳවා ගැනීමට හැකියාවක් ඇති කිරීම මෘදුකාංගය මඟින් ඉටු කර ගැනීමට අපේක්ෂා කෙරේ.
මෘදුකාංගය මඟින් අපේක්ෂිත අරමුණු...
- ලියාපදිංචි දත්ත වල සුරක්ෂිතභාවය සහ රහස්‍යභාවය තහවුරු කිරීම.
- ලියාපදිංචි තොරතුරු පරීක්ෂා කිරීම සදහා අවශ්‍ය පරිදි පරිගණක ප්‍රවේශයක් මාර්ගගතව ලබාදීම . (online search)
- ලියාපදිංචි කරන ලද දත්ත මධ්‍යම ගබඩාවේ ඒකාබද්ධ ඩිජිටල් ආකාරයෙන් පවත්වා ගැනීම.
- ඉදිරියේදී මහජනතාවට නිකුත් කරන පිටපත්, සහතික ඩිජිටල් දත්ත මගින් ලබාදීමට කටයුතු කිරීම.
- ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොතාරිස් වරුන්ගේ රාජකාරි කටයුතු සහ ඉඩම් කාර්‍යාල අතර මාර්ගගත පරිගණක සබැඳියාවක් ඇති කිරීම. (Online link)
- අවශ්‍ය රාජ්‍ය ආයතන වෙත කඩිනමින් ලියාපදිංචිය කිරීම සම්බන්ධව තොරතුරු ලබා දීමට හැකි පරිදි මෘදුකාංගය හරහා පහසුකම් ලබා දීම.
මෙම වැඩසටහන මඟින් මහජනයා වෙත ලැබෙන පහසුකම්...
- සේවාවන් ලබා ගැනීමට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාල වලට යෑමට අවශ්‍ය නොවීම.
- දැනට ලියාපදිංචි කිරීම් කර ඇති වෙළුම් වල ආරක්ෂාව වැඩි කිරීම වෙළුම් වල සිදුවන අක්‍රමිකතා අඩු කිරීමට හැකියාවක් ලැබීම.
- ඉඩම් හිමිකරුවන් වෙත අවශ්‍ය පිටපත් ඩිජිටල් ආකාරයෙන් කඩිනමින් ලබා ගැනීමට හැකි වීම.
- සේවාවන් ලබා ගැනීමට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාල වලට පැමිණෙන මහජනයාට අතරමැදි තැරැව්කරුවන්ගෙන් මිදීමට හැකි වීම.
- මාර්ගගත ක්‍රමයට ලේඛන පරීක්ෂා කිරීමට සහ පිටපත් අයදුම් කිරීමට හැකිවීම.
- පිරිසිදු, පැහැදිලි පිටපත් ලබා ගැනීමට හැකි වීම.
ඉ - ඉඩම් වැඩසටහනෙහි වර්තමාන තත්ත්වය....
ඉ - ඉඩම් මෘදුකාංගය අදියර තුනකින් සමන්විත වන අතර එහි I වන අදියර දැනට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්‍යාල 16 ක සාර්ථක ලෙස ස්ථාපනය කර ඇත. අනෙකුත් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාල වෙත මෙම I වන අදියරය පියවරෙන් පියවර ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම මෘදුකාංගයේ II අදියර ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්‍යාල 6 ක ස්ථාපනය කර, නියමු ව්‍යාපෘතිය අත්හදා බලමින් කටයුතු කරගෙන යනු ලබයි.
මෙම මෘදුකාංගයහි III වන අදියරය සම්බන්ධ කටයුතු දැනට සිදු කරමින් පවතී.